Monday, December 9, 2013

Agenda 14 සහ BMICH

Goethe හි පැවැත් වූ Agenda 14 කෙටි චිත්‍රපට උළෙල අතරතුර ලද ඇසිල්ලකින්  BMICH හි පැවැත් වූ වීඩියෝ සහ ඡායාරුප ප්‍රදර්ශනය නැරඹීමට ගියේ ඕනෑවට එපාවට වාගේය. අයිස් කෝපි එකක් බොන්නට මා හිඳ ගත් තැන සිටි අංකල් කෙනෙක් මා අත තිබූ Agenda 14 සඟරාව පොඩ්ඩකට බලන්නට ඉල්ලා ගත්තේය.
"දුව චිත්‍රපටි වලට ආසයි වගේ"
"හ්ම්" එතරම් උනන්දුවකින් තොරව මම උත්තර දුන්නෙමි.
"එහෙනම් දුව ආස වෙයි අපේ ප්‍රදර්ශන කුටියට. අපි ලංකාවේ ඉන්න ප්‍රසිද්ද ආයතනයක්. Film Making වලට සම්බන්ධ" (නම් අමතක වන ලෙඩේ නිසා මට ඒ ආයතනයේ නම මතක නැත)
ඔහු නැවතත් උනන්දුවෙන් සඟරාව පෙරලන්නට පටන් ගත්තේය. කන්නාඩි දෙක නළලේ රැදෙන්නට තිබියදීම ඔහු සඟරාව පෙරලාගෙන පෙරලාගෙන ගියේ කාලෙකින් කේජු කෑලලක් ලද්දකු සෙයිනි.
"අහ් ! මේ තියෙන්නේ ......, ....... (ලංකාවේ සිනමාකරැවන් කිහිප දෙනෙකු ගේ නම්) ගැන එහෙම. මෙන්න මෙයාල තමයි ලංකාවේ නම පිටරට වලදී කාල දාන්නේ. එන්.ජී.ඕ  වලින් සල්ලි අරන් අමුතු චිත්‍රපටි හදල"
අයිස් කෝපි කෝප්පය වෙත නමා ගත හිස මා කෙලින් කර ගත්තේ එක් වරම මොහු නොනවත්වාම කියවන්නට පටන් ගත් නිසාය.
"දුව මොකද කරන්නේ ? රඟපානවද ?"
 නැවතත් ඔහුගේ ප්‍රශ්න පත්තරය අරඹයි. ඔලුව කෙලින් කරපු මෝඩකම යැයි මටම කියාගනිමින් මම උත්තර දුන්නෙමි.
"නෑ මම  චිත්‍රපටි හදනවා"
"අංකල්ලා කරලා තියෙන්නේ මොන චිත්‍රපටිද ?"
ඔහු "රජ" කෑල්ලක් ගෑවී තිබූ චිත්‍රපටියක නමක් ද, "පාට" යන අරුත දෙන චිත්‍රපටයක නමක් ද, තව නම් කිහිපයක් ද කටපාඩමෙන් වාගේ කියවගෙන ගියේ ය.
නැවතත් ඔහුගේ දෙහි කැපිල්ල ඇරඹුවේ ය.
මම ඔහුගේ වෛරයට පාත්‍ර වූවන් වෙනුවෙන් කතා කරන්නට නොගියේ ඉන් මට පලක් නොවන බැවිනි.

එහෙත් මගේ සිතුවිලි කතා කරන්නට විය. ඔහුට ඔහුගේ චිත්‍රපට කලාවක් ඇත. ඔහුගේ වෛරයට පාත්‍ර වූවන්ට ඔවුන්ගේ චිත්‍රපට කලාවක් ඇත. ඉදින් ඒ කලාව ඔහුට රුචි නොවුනා කියා මෙසේ බැන වදින්නට හේතුවක් නැත. ලංකාව තුල උසස් රස වින්දන කලාවක් බිහි නොවන්නටත්, උසස් නිර්මාණයන්ට මඟ එලි පෙහෙළි නොවන්නටත් ප්‍රධාන හේතුවක් වන්නේ මෙයයි. එවිට නිර්මාණයක නිර්මාණාත්මක බව අභියෝගයට හෝ විචාරයට ලක් කරනවා වෙනුවට නිර්මාණකරුගේ පුද්ගලික ජීවිතය ආදී නොවැදගත් කාරණා ගැන උලුප්පා නිර්මාණකරුවන් දුර්මුක කරන්නටත්, නැගී එන නිර්මාණකරුවන්ට අලංකාර සුදු රෙදි පොරවන්නට බල කරන ආකාරයේ වටපිටාවක් බිහි කිරි කිරීම අරුමයක් නොවේ.

අංකල් ප්‍රදර්ශන කුටියට ගියේය. මම ප්‍රදර්ශනයද බලා නැවතත් Agenda 14 බලන්නට ගියෙමි.

2 comments:

  1. //"දුව මොකද කරන්නේ ? රඟපානවද ?"// ඔව් කියන්න එපැයි!! මිනිස්සු තමන් කැමති රුචිකත්වය විතරක් ලෝකයේ දකින්න කැමතියි! ඒකයි ප්‍රශ්නේ!!

    ReplyDelete
  2. මිනිස්සු (මාත් ඇතුළුව) පටු වපසරියක් ඇතුලේ හිර වෙලා විඳවනවා දකිනකොට වෙලාවකට දුකත් හිතෙනවා. හැබැයි අර කකුළුවා සැලියේ නටනවා වගේ නටනවා. ඒකෙන් එලියට එන්න කියනකොට අයව පෙන්නේ මාරයෝ වගේ.

    ReplyDelete